අපේ අම්මා හා අම්මලා..

Kalpa Senanayake
4 min readAug 22, 2019
Photo by Hu Chen on Unsplash

බොහෝ විට දුම් රියෙන් උදේට හවසට වැඩට යන මම කල්පනා සයුරේ ගිලී සිතිවිලි රැලි අතර පිහිනමින් ගමන නිමා කරමි. සැතපුම් දහස් ගනනක් මවු බිමෙන් ඈත්ව සිටින මට නිතර අම්මා සිහිවීම අරුමයක් නොවේ. ඇය දැන් මහළුය මා දුරකථනයෙන් අමතන වදන්ද කීප වරක් පැවසිය යුතුය. සෑම මවක් මෙන්ම ඇයද අපි සිවුදෙනා ලොකුමහත් කරගැනීමට බොහෝ කැපකිරීම් කලාය. තමා ආදරය කල ගුරු වෘතියෙන්ද කලින්ම සමු ගත්තාය. මේ සටහන මා අතින් ලියැවෙන්නේ ඈට හා ඈ වන් සුවහසක් මවුවරුන් වෙනුවෙන් මගේ සිත් සන්තානයේ ගොජ දමමින් තිබු අප්‍රමාණ ආදර ගෞරවයේ පිටාර යාමක් ලෙසිනි.

අපේ අම්මා ඇතුලුව සියලු අම්මලා විශේෂ මනුෂ්‍ය කොට්ටාසයකි. එය වටහා ගැනීමට අපි ලොකු මහත් වී වගකීම් උසුලන මට්ටමට පැමිණිය යුතුය. අද වන විට කාර්යාලයෙන් නිවාඩුවක් ගැනීම, මදක් ප්‍රමාද වී පැමිණීම හෝ මදක් කලින් කාර්යාලයෙන් පිටවීම තම ප්‍රධානියාගේ අනුදැනුම මත කල යුතුය. නමුත් අම්මලා තම දරුවා වෙනුවෙන් එකවිට දෙතැනක හෝ පෙනි සිටී. ඔවුන් මේ සියලු සමාජීය කොටුපවුරු අතරින් දරුවා තුරුල් කරන් ඉදිරියටම යන්නෝය.

අපේ අම්මා මා නිසා අප්‍රමාණ සිත් සංකාවට පත්ව ඇත. දිනක් ඇය පුපුර පුපුරා මා සොයා ඉංග්‍රීසි උපකාරක පංතිය වෙත පැමිණියේ , උදේ 8–10 තිබෙන පංතිය ඇරුනු මම කොල්ලෝ සමඟ හවස 5 වන තුරු ක්‍රිකට ගසා ඒ වන විටත් ගෙදර නොගොස් සිටිය බැවිනි. ඇගේ ඇස අග තිබුණා වූ කඳුලේ වටිනාකම මට වඩාත් දැනෙන්නේ අදය. මාවත් ඇදගෙන කොලඹ නුවර පාරේ පයින් එන විට ඒ මොහොතේ මා වික්ෂිප්තව සිටියේ කලේ ඈට මෙතරම් වද වෙන්නට මා අසමජ්ජාති කාරණය කුමක්දැයි සිතමිනි.

පහ වසර ශිෂ්‍යත්වය සමත්ව කුරුණෑගලට පාසල් යන්නට පටන ගන්නා විට මට යාන්තමින් අවුරුදු එකොලහක් වූවා පමණි, පාසල වෑන් රථයකට මා රෙජිස්ටාර් කරන තුරු පාරේ බස් එකේ යන්නට වූ විට මහ පාන්දර අනුරාධපුර බසයක මා දමාගෙන එක්කාගෙන ගියයුරු මතකයට නැගෙන විට මට අදටත් නෙත් කෙවෙණි බොඳ වන්නේය. අපේ අම්මාට යන්නට අපහසු දාට චානකයාගේ අම්මා අප රැගෙන යන්නීය. ඇයද මා හට ඇගේ දරුවෙකු මෙන්ම ආදරය කලාය.

සාමන්‍ය පෙල කාලය වන විට යම්තාක් දුරට දඩබ්බරයෙකු වී ඉගනීමට වැඩි ඇල්මක් බැල්මක් නැතිව සිටි මට ගණ දෙවි නුවණ පහල වන්නේ මා කලණ මිත්‍ර කසුන් චාමර හා කලිසම උස්සා බෝල දමන රොෂානයා සමඟ දවල් බත් මුල ලිහා ගත් විටය. ගණිතය හා මා ආදර ඉංග්‍රීසි විෂයට ලකුණු 25 පමණ ලබා ගත් මට පාස් මාක් එක 35 පසක් වන්නේ කසුනාගේ ලොකු අයියාගේ ප්‍රඥා මහිමයට පින්සිදු වන්නට එතැනදීය.

ගෙදර ගිය මා අම්මා සමඟ මේ බැවු පැවසූ විට ඇය අප මෙන් නෝක්කාඩු කීවෙ නැත. අවම තරමින් “මම උඹට කීවෙ ඔය ටික නේදැයි” ඇසුවේ නැත. ඒ වෙනුවට ඈ මට ගුරුවරු සොයා දුන්නාය.

ප්‍රථම වතාවට උසස් පෙලට වාඩි වී මගේ ඉලක්කය කරා යන්නට බැරි වූ විට ඇයද දුක් වුවාය. නමුත් ඒ බැවු මට නොපෙන්වන්නට ඇය වග බලා ගත්තාය.
මගේ කාමරයේ අඩක් වැසු දොර අස්සෙන් බලා කොල්ලා වැඩ යයි පසක් කරගෙන කිරි තේ එකක් හදා ආවාය. මම රැය පහන් වන තුරු පාඩම් කරන බව දන්නා ඇය දවල් වරුවේ කොහොලානට ගිය විට කිඹුලා බනිස්, සීනි බනිස් ගෙනත් පෙට්ටියකට දමා තැබුවාය. එලි වන තුරු පාඩම් කර උපකාරක පන්ති යන දාට හදිස්සියේ දුවන මට බත් කටක් කා යන්නයි පෙරැත්ත කලාය. උදේ තුනහමාරට නැගිට , උදේ පහට කුරුණෑගල උපකාරක පන්තියට යන්නට දුර යන බස් එකට නගින්නට පයින් අඹේපුස්ස හන්දියට යන මට බත් එකක් බැඳ දුන්නීය.

දෙවන වර සමත්ව ඉංජිනේරු පීඨයට තේරුනු විට ඈ බොහෝ සෙයින් සතුටු වූවාට, නමුදු ඇගේ උපේඛ්කා ගුණ සැබැවුන් මා දුටුවේ එදාය. මගේ පරාජයේත්, විජයග්‍රහණයේත් ඇගේ ආදරයේ නිම්වළලු සෙලවුනේ නැත. ඒවා තිබු තැන්වල එසේම තිබුණාය. අද වනතුරුත් ඒවායේ අප්‍රමාණ ශක්තිය මගේ චින්තනයට ගෝචර නැත.

ගාල්ලේ කැලැවක විශ්වවිද්‍යාලයට යන්නට තේරුනු පසු හිතකින් නොවූවත් ඇය මා ඇරලුවාය. කොල්ලා නොදන්නා පලාතක ගිහින් මොන කරදරයක් කරගනීදැයි සිතූ ඈ, ගාල්ලේ ඇගේ නෑයින්ට මා බලා ගන්නැයි කීවාය. නේවාසිකාගරයේ සිටින විට කන්නට හරි හමන් යමක් නොලැබෙන බැවින් නෑදැගෙදරින් සති අන්තේ කන්නට කීවාය.

හවස 2.30 ට ගාල්ලෙන් කෝච්චියට නගින මම බිම් කරුවල වැටෙන විට අලව්වෙන් බැස ගෙදර එන්කන් ඇය බලා සිටියාය. කොල්ලා ඒව කන්නේ නැතැයි , මේවාට වැඩිය කැමති යයි කියමින් රස මසවුලින් මගේ කැම්පස් විස්සෝපයන් මකා දැම්මාය. ඉරිදා හවස 3.30 මරදානෙන් කෝච්චිය අල්ලා ගන්නට යන මට රෑට කන්නට බත් මුලක් බැඳ දුන්නාය. ළමයි එක්ක රන්ඬු කර ගන්න උන්ගේ මූණ කට සමතලා කරන්නට එපා කීවාය. ඒ මම බැච් එකේ ගොබ්බසේනයෙකුගේ බයිසිකලය එලවා ගොස් උගේ දත් දෙකක් ගලවන්නට හැදු කතාව අපේ එකෙකු අම්මාගේ කනේ තිබ්බායින් පසුය.

වත්තේ වැඩට වස කම්මැලියෙක් වන මට ඇය කරන වැඩ කන්දරාව දුටු විට පුදුම සිතුනු වාර අනන්තය. කොයි වෙලේ බැලුවත් කඩියෙකු මෙන් දුවන ගමන්ය. විටක ගස් ගල් පෙරලන්නට වුවමනා වේ, විටක ඝණ සාරට වැවී තිබෙන වත්තේ වල් පැල උදුරා දමන්නට උවමනා වේ.

පළමු රැකියාව ලැබුණු දා අද ඉඳන් කීයක් හරි ඉතිරි කලොත් හොඳයි නේද ඇසුවාය.පුතා කරන රැකියාව ගැන ඇයට නොතේරුනද , කොහොමද වැඩ අමාරුදැයි අසන්නීය. කොළඹ ඉන්නා උන් වසරවර්තියෝ බවත් උන්ගෙන් ප්‍රවෙසම් විය යුතු බවත් පැවසුවාය. සැබවින් උන් පරිස්සම් විය යුත්තේ ඇගේ පුතාගෙන් බව පසු කලක ඇය තේරුම් ගත්තාය.

අපේ ගෙදර පදිංචි වී සිටි මගේ යාලුවන් වූ හලා, ඉස්සා හා කස්සාටද ඇගේ දරුවන්ට මෙන් සලකන්නීය. උන්ට පිඟන් කෝප්ප පවා වෙන් කර තැබුවාය. හලා උගේ චාටු බසින් හා මම වගේ ගණන් නොඋස්සා වැඩ කර දීමෙන් ඇගේ හිත දිනා ගත්තාය.

එනිසා හල්වල පුතා එනවා යයි කී විට අහලක නොතිබූ හකුරු, අග්ගලා එලියට ගන්නීය, ඒ හල්වලයා කළු කුහුඹුවෙකු මෙන් පැණි රසට ලොල් බව අම්මා දන්නා නිසාය. ඉසුරුවාගේ අම්මා සමඟ එක පාසලේ වැඩ කල ඇය ඉස්සා දන්නේ මට බොහෝ පෙරය, එනිසා ගෙදර ආ විට කෑමට ඉතා ප්‍රිය ඌට කන්න නොදී නොයවන්නේය. මාව කඩේ යවා ගන්නට බැරි වූ විට කසුනා ගෙදර සිටී නම් ඌට කියා උවමනා දෑ ගෙන්වා ගන්නේ උගේ හිත මගේ හිතට වඩා හොඳ යයි පවසමිනි.

ඒ මගේ දයාබර අම්මාය..

සැතපුම් දහස් ගණනක් එහා සිට දුරකථනයෙන් අමතන ඇගේ හඬේ ඇති ආදර ,සෙනෙහහස් දහර අබියස මා ක්ෂුද්‍ර ජීවියෙකැයි මට සිතේ. රැකියාවට ආ දා පටන් අද වන තුරු ඇයට අබ මල් රේණුවක අඩුවක් වන්නට මා ඉඩ තබා නැති වුවද, අනෙක් බොහෝ දරුවන් මෙන් දෙමාපියන් සතුටින් තැබීමට තවත් කල හැක්කේ මොනවාදැයි මමත් කල්පනා කරමි. වයසින් මුහුකුරා ගිය, ජීවිතයේ සැඩ රැසින් පදම් වී තෙහෙට්ටුවෙන් සිටින ඔවුන් නූතන පරම්පරාව මෙන් භෞතික සම්පත් වලින් සතුටු කිරීම අපහසුය.

නමුත් දරුවන් වන අපේ කට හඬ , ආදර වදන් තවමත් ඔවුන්ගේ මුහුණු සිනාවෙන් සරසන්නට සමත්ය. එබැවින් මෙය කියවන ඔබෙත් අම්මා, තාත්තාට කලකින් කතා කරන්නට අතපසු වුනා නම්, ඔවුන්ගේ මුහුනට සිනාවක් ගෙනෙනට බැරි වුනා නම් මේ ඒ සඳහා වෙලාවයි. ඔබ වෙනුවෙන් අප්‍රමාණ දෑ කල ඔවුන්ගේ මුහුණ සිනාවෙන් සරසන්න.. අනෙක් බොහෝ දෑ ඔබට අතපසු කල හැකියි..

--

--

Kalpa Senanayake

Senior Software Engineer | Cloud | API | System Design